ආයුබෝවන් කියල කියනව හැමෝටම....
ගොඩ කාලෙකට පස්සේ හිතුනා අලුත් සින්දුවක් ගැන පොඩි විචාරයක් ලියන්න ඕනේ කියලා....
මේ නන්දා මාලනියගේ හඬයි. ඇය මේ ගයන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පදවැලයි. මේ ගීතය බොහොම ජනප්‍රිය වුණා ගයපු මුල් කාලයේදීම ඒ 80 දශකයේ. අදටත් මේ ගීතය ජනප්‍රියයි. මේ ගීතයේ තියෙන්නේ ප්‍රේමය ගැන වෙනස් අර්ථයක්. ගීතයේ ජනප්‍රියත්වය නොවෙනස්ව පතින්න ඒ අර්ථය හේතුවක් වුනු බව මම විශ්වාස කරනවා.
ජිවිතයේදී දිනුම් සේම පරාජයන්ද විඳ දරා ගන්නට සිදුවේ. ජිවිතයට සතුට සේම දුකද දැනෙන්නේ ඒ නිසාය. පරාජය වේදනාකාරිය. අමිහිරිය. ඒ වේදනාව ජීවිතය පුරාවටම පසුතැවෙන්නට මග කියයි. ජීවිතය දෙස ආපසු හැරි බලද්දී ඒ පරාජයට පාර කැපූ වේදනාවෙන් පීදීත වැරදි තීරණය වෙනස් කර ගැනීමට වුවමනා බව දැනෙන්නට පුළුවන. එනමුදු ඒ ගමන තනිව යන්නට බැරිය. සැබෑම හිතවන්තයෙකුගේ අත්වැල ඒ වෙනුවෙන් ලැබිය යුත්තේය.
සුලන් කපොල්ලේ තැනු කැදැල්ලේ
කෑලි කැදී බිඳී වැටේ
නිල් කඳුරැල්ලේ
කුඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලි
දැන් ඔබ ළඟ සිටි
රුවක් විලස නොසෙල්ලී
යොදුන් ගණන් ඔබම සොයා
ආ සියුමැල්ලි
පිළිගනු ඈ කොහි යන්නද
නැවත ඉගිල්ලී
ඇයට මවක් පියෙක් නොමැත
සිතිජ වලල්ලේ
කඳුල පමණි ඇයට උරුම
දවස මුළුල්ලේ
ඔබ තනිකඩ කුරුළු රජෙකි
සිටින නිදැල්ලේ
ඇයට ලැගුම් දෙන්න සබඳ
ඔබේ කැදැල්ලේ .....
ගායනය : විශාරද නන්දා මාලනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
නිතර සුලන් හමනා සුලන් කපොල්ල කැදැල්ලක් සාදා ගන්නට සුදුසු නොවන බව අමුතුවෙන් කියන්නට ඕනා නැත. එනමුදු ප්‍රේමය අන්ධය. එකී අන්ධ ප්‍රේමයට මේ බව පෙනෙන්නට නැත. සුලන් කපොල්ලක වුව කැදැල්ල තනන්නට තීන්දු ගන්නේ ඒ නිසාය. සුලන් කපොල්ලක හමනා සැඩ සුලන්ගේ තරම තේරුම් යන්නේ ඒ සෑදු කැදැල්ලේ ජීවිතය ඇරඹුනු දාටය. ඒ සුලන්ගේ තරමට කැදැල්ල කැඩී බිඳී යන තුරුම නොදැනෙන්නේ ද අවාසනාවටය. සුන්දර නිල් කදුරැල්ලක් පෙනි පෙනී සාදන පුංචි කැදැල්ල නිලි ගන්නට එකී සුන්දර නිල් කදුරල්ලට සිදුවන්නේ ද ඒ අවාසනාව නිසාමය.
කැඩී බිදී ගිය කැදැල්ලේ මතකයද තුරුළු කරගත් මේ පුංචි කැදැල්ලේ හිමිකාරිය සුන්දර නිල් කදුරල්ලෙන් නික්ම පියවි ලෝකයට පමිනේනිය. ඒ අවාසනාවේ සෙවනැල්ල ඇයව හැර දමා නොගියමුත් ඇයට ජීවිතය දැනෙමින් තිබේ. සැබෑවටම දැනෙනා ජිවිතයක් ඇයට හමුවී ඇතැයි කිවොත් හරිය. එයද පෙර මෙන්ම ප්‍රේමයකි. ඒ ප්‍රේමය සැබෑවකැයි ඇයට දැනේ. මේ ප්‍රේමය අතැර නොයන්නේද මේ ප්‍රේමය ඉදිරියේ ඈ නොසෙල්වෙන රුවක් වන්නේද ඒ නිසාය. සුන්දර වුව අවාසනාවන්ත මතකයන් රැසක්ම අයිතිකර දුන් නිල් කඳුරැල්ල පසු කර දමා යොදුන් ගණනක් දුර ගෙවා ගෙන ඈ පැමිණ සිටින්නේ මේ ප්‍රේමය සොයා ගෙනමය. ඈ සියුමැලිය. මේ සාක් දුක් වේදනා දරා ගන්නට තරම් ඈ සවිමත් නැත. තවත් දුර යන්නට ද ඇයට පුළුවන් කමක් නැත. ඒ නිසා ඈ ලැදි සෙනෙහෙවන්තයා ඇයව පිළිගත් යුතුය.
ලෝකය කෙතරම් සුවිසල් වුව ඇයට ඇයගේමයි කිව හැකි කිසිවෙකුත් මේ ලෝකෙයේ නැත. ඇගේ ජීවිතය පුරාවට ඇගේ තනි රකින්නට කදුලටම සිදිවුයේ ඒ නිසාය. දවස මුළුල්ලේම ඇයගේ ලගම දැවටෙන්නේ කදුලයි. ඇගේ ජීවිතය පුරා ගලා යන ඒ කඳුල පිසලන්නට හැක්කේ ඔබටය. ඒ ඔබ තනිකඩ නිසාය. තනිකඩ වීමම නොව නිදැල්ලේ ගත වන නිසාම ඔබේ ජිවිතයට ඒ ජිවිතයට ලං වීම පහසුය. ඇය රැකවරණය පතා ඔබ වෙත එන්නට ඇත්තේද ඒ නිසාය. සබඳ ඇයට රැකවරණය දෙන්න. ඔබයි සුදුසුම ඇගේ රැකවරණය වෙනුවෙන්.
**********ගීතය මෙතනින් බාගන්න ***********

